දැවැන්ත කෑම බිලකට නිර්මාණයක් දැවැන්ත කළ හැකිද?
ඩී. බී. නිහාල්සිංහ මහතා
පසුගිය දා අප අතරින් සදහටම වෙන් වුණි.
ඒ දැවැන්ත සිනමාකරුවා ගැන බොහෝ අදහස් පළව තිබුණු නමුත්
වඩාත් මා සිත් ගත් සටහනක් උපුටා දක්වමි.
එහෙත් ඒ සටහන උපුටාගෙන මා මෙහි දක්වන්නේ මේ සටහන නිහාල්සිංහයන් වෙනුවෙන් ම ලියන සටහනක් බැවින් නොවේ.
නිහාල්සිංහයන් වෙනුවෙන් ම නොවුණත්, වෙනත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්
හෝ අරභයා නොවුණත්, මේ සටහන ලියන විට
පුද්ගල නාමයන් කිහිපයක් මතකයට නැංවෙයි. එසේ ම මේ සටහන කියවන විට නම් ගම් නොලියූ
පුද්ගලයින්ද සමහර විට ඔබ මතකයට නැංවීම මා හට වලකාලිය හැකි දෙයක් නොවෙයි.
යම් ගුණයක්, යහපත් ලකුණක් ගැන ලියන විට, ඒ ගුණයට, යහපතට
හිමිකම් දක්වන මිනිසුන් මතක් වීම වලකා ලිය නොයුත්තකි. එබැවින් පුද්ගලයන් වෙනුවෙන්
නොලියුවත්, එවන් ගුණැති පුද්ගලයන් මතකයට නැඟේ නම් ඇති වන්නේ සතුටකි.
යළිත් නිහාල්සිංහයන්
ගැන ලියූ ඒ සටහන වෙත යොමු වෙමු.
“ එඩිටින් නිහාල්සිංහයන්ට
දෙන්න ඕනෑ.”
ඒ අධ්යක්ෂ අණයි.
තරුණ නිෂ්පාදකයාට හීන් දාඩිය දැම්මේ ඔහු නිහාල්සිංහයන් ගැන අසා තිබුණු දේ නිසායි.
“ අපෝ! මිනිහා හයි ක්ලාස්නේ. ගාස්තු ගෙවන්න ඉඩම් විකුණන්නත්
වෙයි”
“එයාට කෑම සප්ලයි කරන්න ඕනෑ ඔබරෝයි එකෙන්.”
“ ගමනට ඒ. සී. වාහන ඕනෑ. නැති නම් එන්නේ නෑ”
මේ තරුණ නිෂ්පාදකවරයාගේ මනස තුළ නිහාල්සිංහයන් ගැන ලියැවී තිබුණු විදිහයි.
එහෙත් අධ්යක්ෂ අණට විරුද්ධ වීමට මේ තරුණ නිෂ්පාදකවරයාට
හැකියාවක් නොවීය. රූපගත කිරීම් නිමවූ සැනින් වන නිසා අතේ ලොකු මුදලක්ද නොවීය.
සංස්කරණය සඳහා යෙදවීමට වෙන් කළ මුදලට අමතරව තවත් මුදලක් අමාරුවෙන් සොයා ගත් ඔහු නිහාල්සිංහයන්ව මුණ ගැසුනි.
“ වැඩේ කරමු. හැබැයි රෑට. මම හයට එනවා. එළිවෙන තුරු වැඩ
කරණවා”
“ වාහනයක් එවන්නම්”
“ මොකටද? මම ඉන්නේ ළඟනේ. මම පයින් එන්නම්”
සංස්කරණය ඇරුඹුනේ එලෙිසින්ය.
“ ඩිනර් කොහොමද?”
“ඇසිස්ටන්නට් ගෙන් අහලා බලලා ඕනෑ දෙයක් ගෙනත් දෙන්න. මට
බනිස් ගෙඩියක් ගෙනත් දෙන්න. පුළුවන් නම් ප්ලාස්ක් එකකට කොෆී ටිකක් ගෙනෙන්න.
එච්චරයි ”
මේ යම් නිර්මාණයක එක් අදියරයක් නිම වුණු අයුරයි. අවසන
ගෙවීම් කරන්නට යාමේදීද එය නිෂ්පාදකවරයා අසා තිබූ කතාවලින් මවාගෙන තිබූ ගණන තරම්
ලොකු එකක් නොවුණි.
මේ හා සමඟම මට ප්‍රවීන රංගවේදියෙකු වන
අමරිසිරි කලංසූරිය මහතා
යම් ගුවන් විදුලි
වැඩසටහනකදී කියූ දෙයක් මතක් වෙයි.
ඔහුව ප්‍රශ්ණ කරන්නා මෙසේ අසයි.
“අද කාලේ සමහර නිර්මාණ වලට දැවැන්ත වියදමක් දරණවා. ඒ
කාලේ නිර්මාණ සඳහාත් ඒ විදිහට දැවැන්ත වියදමක් දැරුවාද?”
“ දැවැන්ත වියදම් නේද.....? දැවැන්ත නිර්මාණ නම් ඒ දිනවල
තිබුණා. දැවැන්ත වියදම් දැරුවාද කියන එකයි දැන් ප්‍රශ්ණය. මම ඒකට මෙහෙම උත්තරයක්
කියන්නම්.
අද කාලේ මේ දැවැන්ත වියදම් යන්නේ මට පෙනෙන හැටියට නම්
නිර්මාණයට නොවේ. එහි තාක්ෂනයටත් නොවේ.
ඉඳුම් හිටුම් වලටයි කෑමටයි බීමටයි.
ඒවා සැපයෙන්නේ ලොකු ලොකු හෝටල් වලින්. නිර්මාණය කරණ කාලය
තුළ කෙනෙකුට අවශ්‍ය නොවන තරම් කෑම බීම සඳහා නිකරුණේ වියදම් කරණවා. අද වන විට බොහෝ
අය කරන්නේ නිර්මාණයෙන් හදවත සන්තර්පනය කරගන්නවාට වඩා රස මසවුළින් දිව කුස
සන්තර්පනය කරගැනීම. සරලව හිතුවොත් ඒ
වියදම් වලින් සෑහෙන කොටසක් අඩු කරගතහැකි ඒවා. ඒ නිසා ඒවා අතෑරලා බැලුවොත් නිර්මාණයට
වියදම් කරලා තියෙන්නේ අර කියනවා වගේ දැවැන්ත මුදලක් නොවෙයි.
මට මතකයි ඒ කාලේ අපි පතිරාජගේ
බඹරු ඇවිත් කළ හැටි.
අපි ලොකේෂන් බලලා දින තීරණය කළාට පස්සේ එක දිගට දවස්
ගණන් වැඩ දා ගන්නවා. ඈතවල්වල ගිහින් දින ගණන් ඉන්න වෙනවා. කවුරුවත් ලොකු ලොකු
හෝටල් හෙව්වේ නෑ. කෑමත් ඒ වගේ. බොහෝ විට අපි අපිමයි කෑම බීම හදා ගන්නේ.
පතිරාජ කියනවා මම අහවල් දේ අරගෙන එන්නම් කියලා. මමත් කියනවා
අහවල් දේ අරගෙන එන්නම් කියලා. සිරිල් වික්‍රමගේ කියනවා
මම අහවල් දේ ගෙනෙන්නම් කියලා. ඔය විදිහට එකිනෙකා බෙදා ගෙනයි ඒවා සිදු වුණේ. හැබැයි
ඉඳුම් හිටුම් සහ කෑමට බීමට නම් දැවැන්ත වියදමක් කළේ නෑ. කාගේත් ලොකුම පැතුම වුණේ
නිර්මාණය හොඳින් නිම කර ගැනීම. ඒ නිර්මාණ දැවැන්ත නිර්මාණ වුණා. සමහර විට නිර්මාණ
ප්‍රීතියට අමතරව එය කරන්නට ගත් උත්සාහයේ ප්‍රීතියත් අපට ඉතිරි වුණා.”
මේ අතීතයේ දැවැන්ත නිර්මාණ කරුවන් ක්රියාර ඇති ආකාරය
පිළිබඳ පුංචි උදාහරණ දෙකක් පමණි. දැවැන්ත නිර්මාණ බිහි වීමේ පසුබිම් කතාවකුයි.
අද දවසේ මෙවැනි කටයුතු සිදුවන විට සම්බෝලයි බතුයි කරවල
හොදියි කා ඒවා කළ යුතු යැයි මම නොකියමි. එහෙත් නිර්මාණකරණයේ උහුලා ගත නොහැකි බර
නිර්මාණය උත්කර්ෂයට ගෙන ඒමට දැරූ වියදම්ම නොවන වගනම් කිව යුතුය. මේ නිසා
නිර්මාණකරණයේ දැරිය නොහැකි බරක් වර්තමානයේ නිර්මාණකරුවා පිට වැටී ඇත. එබැවින් ම වැඩි
මිලට පහසුවෙන් විකිණිය හැකි වෙළඳ භාන්ඩ මිස නිර්මාණ බිහිවීම අවම වී ඇති වග පෙනී
යයි.
සිනමාවෙන් ගීත ක්ෂේත්රයට ආවත් මේ තතවය දැක ගත හැකිය.
කලක් නිර්මාණයක් වෙනුවෙන් අදාල කලාකරුවන්ගේ අය කිරීම් තිබුණු සාධාරණ මට්ටම ගිලිහී
ගොස් එය දැරිය නොහැකි මට්ටමක් දක්වා එසවී ඇත. සංගීත ප්‍රසංගයකදී වුව ( මෙහි මම
කියන්නේ එළිමහන් ප්‍රසංග ගැන නොවේ. සුභාවිත ගීත රසිකයින් වෙනුවෙන් පැවැත්වෙන ප්‍රසංග
ගැනයි.) විවිධ ගායක ගායිකාවන් අය කරණු ලබන
මුදල් ගැන හිතුව හොත් එය සංවිධායකයින්ට නොදැරිය හැකි තරම් ඉහළ තලයක පවතී. මේ හේතුව
නිසා එවන් ප්‍රසංගයක ප්‍රවේශපත් සඳහා අධික මිලක් නියම කිරීමට සිදුව ඇත. මා කියන්නේ
යම් ශිල්පියෙකුගේ ශිල්පීයත්වය කීර්ති නාමය වෙනුවෙන් ගෙවන මුදල අවප්‍රමාණ කළ යුතුය
යන්න නොවේ. එය යම් සාධාරණ තලයක නොවුණ හොත් නිර්මාණ බිහිවීම සේම ප්‍රංසග අඩුවීමද,
ඒවා කෙරුනද, මුදල් හදල් යහමින් ඇත්තවුන්ට මිස හැකියාවෙන් යුතු නිර්මාණ ශිල්පීන්ට
හෝ ඇත්ත රසිකයාට ඒවා ළඟා විය නොහැකි පරතරයක් ඇති වන බවයි.
මීට අමතරව, යම් නිර්මාණ වල නිෂ්පාදන කාර්යයන්හිදී පෙර කී
ලෙස සෘජුව නිර්මාණයට යොමු නොවන අනෙකුත් පහසුකම් සඳහා වන වියදම් අධික වීමද මහත්
බලපෑමක් එල්ල කර ඇත. ප්‍රසංග සංවිධානයේදීද මෙය එලෙසය.
- යසනාත් ධම්මික බණ්ඩාර -




No comments:
Post a Comment