ඉතිහාසය සහ සාහිත්‍යය කන්නද ?
එක්තරා කාලයක, එක්තරා රාජ්‍ය නායකයෙක් පාසැල් විෂය
නිර්දේශයෙන් ඉතිහාසය සහ සාහිත්‍යය ඉවත් කළ යුතුයැයි යෝජනා කළේය. එසේ යෝජනා කළා
පමණක් නොව එම විෂයයන්, පාසැල් විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමටද කටයුතු කළේය.
ඉන් පසු කාල වල වුව, මෙවැනි යම් යම් අදහස් අපට ඇසිය දැකිය
හැකි විය. අදත් අපි එවැනි සමහර උත්සාහයන් දැක ගනිමු.
ඒ කාලේ විවිධ උගතුන් වියතුන් මේ පිළිබඳව කළ විවේචන විරෝධතා
දුටු එතුමා කළේ ඉතිහාසය සහ සාහිත්‍යය කන්නද කියා විමසීමය. කෑමට බීමට වැඩි තැනක්
ලැබෙන සමාජ ක්‍රමයක් ඇති කළ විට ඉතිහාසයට සහ සාහිත්‍යයට ලැබෙන්නේ කෑමට බීමට වඩා
අඩු තැනක් බව එතුමා ඉවෙන් මෙන් වටහා ගෙන සිටින්නට ඇත.
කෑම බීම මූලික අවශ්‍යතාවකි. එහෙත් ඉතිහාසය සහ සාහිත්‍ය හැදෑරීම
සහ කෑම අතර ඇති සම්බන්ධය කුමක්දැයි එකල මට නොවැටහුණි. දැන් මට ඒ පිළිබඳව යම්
වැටහීමක් ඇත.
ඉතිහාසය සහ සාහිත්‍යය ඉගෙනීම සිසුන්ට ඇවැසි නොවේ යැයි එතුමන්ට
හැඟුනේ ඇයිද යන්න ඒ ගැන එතරම් නොදත් මෙන්ම ඒ ගැන අද වන විට අමතක අයගේ සිතට එන
පැණයක් විය යුතුය. එයට පිලිතුරක් ඇත. එහෙත් ඒ පිලිතුර ලැබුණේ ඒවා පාසැල් විෂය
නිර්දේශයෙන් ඉවත් කොට සෑහෙන කලක් ගතවත්දී ය.
පසුව මේවා නැවත අපේ විෂය ධාරාවන්ට ඒ නමින් හෝ වෙනත් නම්
වලින් ඇතුළත් විය. එහෙත් ඒ වන විට ඒවා පෙර සේම හැඟෙන දැනෙන මට්ටමට යළි ස්ථාපිත
කල හැකි කාලය ඉක්ම ගොස් තිබිනැයි මට සිතේ.
ඉහත කී මේ කාල වකවානුවේදීම ය ඒ හා සමාන්තරව ආර්ථිකය ඉවක්
බවක් නැතිව විවෘත වන්නේ. ඕනෑ දේ සේම එපා දේ ද අවසරයක් අනවැසිව එන්නේ. නිපදවිය
නොහැකි දෑ පමණක් නොව නිපදවිය හැකි දෑ ද පිටින් ගෙනෙන්නේ. කලා නිර්මාණ කිරීම පසෙක
ලා, කලා නිර්මාණ යන නමින්, නිෂාපදන ද ආනයනය කරන්නට පටන් ගන්නේ.
පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන රැසක්ද සමාන්තරව
බිහිවන්නේ මේ ලෙස පණින රිලවුන්ට ඉණි මං තැබීමට ය. මේ මාධ්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය
අධ්‍යයනය කළ යමෙක් වේ නම් වැටහෙන කරුණ වනුයේ, ඔවුනද, ක්‍රම ක්‍රමයෙන්, ඉතිහාසයට සහ
සාහිත්‍යයට මේ සමාජය තුළ හිමිව තිබූ තැන සියුම්ව ඉවත් කිරීට ඇවැසි දෑ කිරීමයි. අපේ
දේශයට අනන්‍ය සංස්කෘතිය තුළ පරගැති සංස්කෘතිය සියුම්ව ආරෝපනය කිරීමයි. ඒ ආරෝපනය
වැලඳ නොගන්නා අයව උපහාසයට අපහාසයට ලක් කිරීමයි. දියුණු සමාජයට විවර වීමට පසුබට
ගෝත්‍රික අවැතුම් පැවැතුම් හිස මත පටවා ගත් මිනිසුන් කොටසක් සේ හංවඩු ගසන්නට
උත්සාහ කිරීමයි.
මේ ක්‍රියාදාමය කලක් පැවැතීමෙන් අනතුරුව ලක් වැසිව සිටි සංස්කෘතික
මිනිසා ලක් වැසි අසංස්කෘතික මිනිසෙක් බවට පත් විය.
දැන් ඔවුනට ඉතිහාසයක් නැත. ඒ නිසාම දිගු ඉතිහාසයක් තුළ
වූ ප්‍රෞඩත්වය පිළිබඳව ආඩම්බරයක් නැත. දැන්
ඔවුනට සාහිත්‍යය පිළිබඳ දැනුමක් නැත. ගැඹුරු හැදෑරිම් නැත. ගවේශණයක් නැත. පොහොසත්
සංස්කෘතියකින් කෙරෙන හික්මවීමක් නැත. නිර්මාණයකින් ලබන ගැඹුරු රසයක් නැත.
සියල්ල මතු පිටය.
සියල්ල මතුපිට ය යන කීමට මොන මොන තරම් දේ උදාහරණ ලෙසට ගත
හැකිද?
ගීතයක් අහන්න. අද වන විට ගීතයේ අරුතට ලැබෙන තැනක් නැත.
මියුරු සංගීතයට ලැබෙන තැනක් නැත. එහි භාවාත්මක තනුවට ලැබෙන තැනක් නැත. ඉල්ලන්නේම
කර්ණ කඨොර, හිසට නොයන, සිතට නොදැනෙන, ගාත් වලට දැනෙන රිදමයයි. මිහිරි මියුරු නොවන ටකරං
වාදන භාණ්ඩ වල හඬයි.
ටෙලි නාට්‍යයක් ගන්න. එහි ගැඹුරු සංවාදයක් නැත. ඇත්තේම
මිනිසුන්ගේ එදිනෙදා පවුල් ගැටුම් මතු පිටින් දැක, ඒවා එකිනෙකක් වට්ටෝරු ක්‍රමයට
ඔබ්බවා සැකසූ රඟපෑම් නොවන රඟපෑම්ය. නාට්‍යය නොවන නාට්‍යයය.
සිතුවම් පට ගන්න. ගැඹුරු නිර්මාණ කළ වුන් පවා කරණ බොහෝ
නිර්මාණ වල ගැඹුර ගිලිහී ගොස් ඇත. ඔවුන් හට සිය නිර්මාණ වලට නිමිති අපමණ ඇතත්, ඒවා
සියුම්ව උකහාගෙන නිර්මාණය කිරීමේ දුප්පත් කමකින් වෙලී සිටී. රැල්ලට හසු වූ
අසංස්කෘතික මිනිසා මතු නොව, එසේ හසු නොවූවා යැයි සිතූ මිනිසුන් පවා නොදැනීම, නොපෙනීම ඊට හසුව ඇත.
කෑමක් ගන්න. අපේ අතීතයේ, ගුණෙන්, රසින්, සුවඳින් පිරුණු
කෑම මුළුතැන් ගෙයින් පළා ගොස් ඇත. වීථියේ, ජංගම කෑම කඩයෙන් ගෙන තළු මරන්නේ මුඩු
තෙලින් බැදි, ලුණු රසය පමණක් ඇති, සෞඛ්‍යයට හානිකර රස කාරක වර්ණක ආදිය යෙදූ කෙටි
කෑමය. ඒවාගේ අර අපට හුරු කෑමෙහි වූ ගැඹුරු රසක් නැත. හානියක් මිස ලැබෙන ගුණයක්
නැත. නමුත්, නිසි පදනමක් නැති වර්තමාන අළුත් පරපුර තුළ පොෂ් දිවියට අවැසි මතුපිට
සාටෝපය පමණක් එහි ඇත.
අවසන සෑදී ඇත්තේ කුමන වූ සමාජයක්ද? එය තවත් දුරට කතා කළ
යුතුය. එහෙත්, අද ඊට අවකාශ නැත. එබැවින් ඒ කතා ඉදිරියට ය.
නමුත් මේ අවරට ගෙන ගිය සමාජ පරිවර්තනය කුමක් සඳහා දැයි
සිතිය යුතුය.
මට හැඟෙන අයුරින් නම්, පාලකයින්ට බොරුව පහසුවෙන් විකුණා
බලය ගැනීමටත් පාලනය ගෙන යාමටත්ය.
වෙළඳ ප්‍රජාවට, නොවටිණා භාණ්ඩ, සහ ඊනියා නිර්මාණ එම
භාණ්ඩ එහ එවන් නිර්මාණ සත්‍ය වශයෙන්ම අවශ්‍ය නැති පාරිභෝගිකයින්ට පහසුවෙන්
විකිණීමටය.
- යසනාත් ධම්මික බණ්ඩාර
-



No comments:
Post a Comment