Tuesday, June 21, 2016

දැවැන්ත කෑම බිලකට නිර්මාණයක් දැවැන්ත කළ හැකිද?



දැවැන්ත කෑම බිලකට නිර්මාණයක් දැවැන්ත කළ හැකිද?

 ඩී. බී. නිහාල්සිංහ මහතා 
පසුගිය දා අප අතරින් සදහටම වෙන් වුණි.
 
ඒ දැවැන්ත සිනමාකරුවා ගැන බොහෝ අදහස් පළව තිබුණු නමුත් වඩාත් මා සිත් ගත් සටහනක් උපුටා දක්වමි.

එහෙත් ඒ සටහන උපුටාගෙන මා මෙහි දක්වන්නේ මේ සටහන නිහාල්සිංහයන් වෙනුවෙන් ම ලියන සටහනක් බැවින් නොවේ.

නිහාල්සිංහයන් වෙනුවෙන් ම නොවුණත්, වෙනත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හෝ  අරභයා නොවුණත්, මේ සටහන ලියන විට පුද්ගල නාමයන් කිහිපයක් මතකයට නැංවෙයි. එසේ ම මේ සටහන කියවන විට නම් ගම් නොලියූ පුද්ගලයින්ද සමහර විට ඔබ මතකයට නැංවීම මා හට වලකාලිය හැකි දෙයක් නොවෙයි. 

යම් ගුණයක්, යහපත් ලකුණක් ගැන ලියන විට, ඒ ගුණයට, යහපතට හිමිකම් දක්වන මිනිසුන් මතක් වීම වලකා ලිය නොයුත්තකි. එබැවින් පුද්ගලයන් වෙනුවෙන් නොලියුවත්, එවන් ගුණැති පුද්ගලයන් මතකයට නැඟේ නම් ඇති වන්නේ සතුටකි.

යළිත් නිහාල්සිංහයන් ගැන ලියූ ඒ සටහන වෙත යොමු වෙමු.

“ එඩිටින් නිහාල්සිංහයන්ට දෙන්න ඕනෑ.”
ඒ අධ්‍යක්ෂ අණයි.

තරුණ නිෂ්පාදකයාට හීන් දාඩිය දැම්මේ ඔහු නිහාල්සිංහයන් ගැන අසා තිබුණු දේ නිසායි.

“ අපෝ! මිනිහා හයි ක්ලාස්නේ. ගාස්තු ගෙවන්න ඉඩම් විකුණන්නත් වෙයි”

“එයාට කෑම සප්ලයි කරන්න ඕනෑ ඔබරෝයි එකෙන්.”

“ ගමනට ඒ. සී. වාහන ඕනෑ. නැති නම් එන්නේ නෑ”

මේ තරුණ නිෂ්පාදකවරයාගේ මනස තුළ නිහාල්සිංහයන් ගැන ලියැවී තිබුණු විදිහයි.

එහෙත් අධ්‍යක්ෂ අණට විරුද්ධ වීමට මේ තරුණ නිෂ්පාදකවරයාට හැකියාවක් නොවීය. රූපගත කිරීම් නිමවූ සැනින් වන නිසා අතේ ලොකු මුදලක්ද නොවීය. සංස්කරණය සඳහා යෙදවීමට වෙන් කළ මුදලට අමතරව තවත් මුදලක් අමාරුවෙන් සොයා ගත් ඔහු නිහාල්සිංහයන්ව මුණ ගැසුනි.

“ වැඩේ කරමු. හැබැයි රෑට. මම හයට එනවා. එළිවෙන තුරු වැඩ කරණවා”

“ වාහනයක් එවන්නම්”

“ මොකටද? මම ඉන්නේ ළඟනේ. මම පයින් එන්නම්”

සංස්කරණය ඇරුඹුනේ එලෙිසින්ය.

“ ඩිනර් කොහොමද?”

“ඇසිස්ටන්නට් ගෙන් අහලා බලලා ඕනෑ දෙයක් ගෙනත් දෙන්න. මට බනිස් ගෙඩියක් ගෙනත් දෙන්න. පුළුවන් නම් ප්ලාස්ක් එකකට කොෆී ටිකක් ගෙනෙන්න. එච්චරයි ”

මේ යම් නිර්මාණයක එක් අදියරයක් නිම වුණු අයුරයි. අවසන ගෙවීම් කරන්නට යාමේදීද එය නිෂ්පාදකවරයා අසා තිබූ කතාවලින් මවාගෙන තිබූ ගණන තරම් ලොකු එකක් නොවුණි.

මේ හා සමඟම මට ප්‍රවීන රංගවේදියෙකු වන 


අමරිසිරි කලංසූරිය මහතා 
යම් ගුවන් විදුලි වැඩසටහනකදී කියූ දෙයක් මතක් වෙයි. 

ඔහුව ප්‍රශ්ණ කරන්නා මෙසේ අසයි.

“අද කාලේ සමහර නිර්මාණ වලට දැවැන්ත වියදමක් දරණවා. ඒ කාලේ නිර්මාණ සඳහාත් ඒ විදිහට දැවැන්ත වියදමක් දැරුවාද?

“ දැවැන්ත වියදම් නේද.....? දැවැන්ත නිර්මාණ නම් ඒ දිනවල තිබුණා. දැවැන්ත වියදම් දැරුවාද කියන එකයි දැන් ප්‍රශ්ණය. මම ඒකට මෙහෙම උත්තරයක් කියන්නම්.

අද කාලේ මේ දැවැන්ත වියදම් යන්නේ මට පෙනෙන හැටියට නම් නිර්මාණයට නොවේ. එහි තාක්ෂනයටත් නොවේ. 

ඉඳුම් හිටුම් වලටයි කෑමටයි බීමටයි. 

ඒවා සැපයෙන්නේ ලොකු ලොකු හෝටල් වලින්. නිර්මාණය කරණ කාලය තුළ කෙනෙකුට අවශ්‍ය නොවන තරම් කෑම බීම සඳහා නිකරුණේ වියදම් කරණවා. අද වන විට බොහෝ අය කරන්නේ නිර්මාණයෙන් හදවත සන්තර්පනය කරගන්නවාට වඩා රස මසවුළින් දිව කුස සන්තර්පනය කරගැනීම.  සරලව හිතුවොත් ඒ වියදම් වලින් සෑහෙන කොටසක් අඩු කරගතහැකි ඒවා. ඒ නිසා ඒවා අතෑරලා බැලුවොත් නිර්මාණයට වියදම් කරලා තියෙන්නේ අර කියනවා වගේ දැවැන්ත මුදලක් නොවෙයි.

මට මතකයි ඒ කාලේ අපි පතිරාජගේ බඹරු ඇවිත් කළ හැටි. 

අපි ලොකේෂන් බලලා දින තීරණය කළාට පස්සේ එක දිගට දවස් ගණන් වැඩ දා ගන්නවා. ඈතවල්වල ගිහින් දින ගණන් ඉන්න වෙනවා. කවුරුවත් ලොකු ලොකු හෝටල් හෙව්වේ නෑ. කෑමත් ඒ වගේ. බොහෝ විට අපි අපිමයි කෑම බීම හදා ගන්නේ.

පතිරාජ කියනවා මම අහවල් දේ අරගෙන එන්නම් කියලා. මමත් කියනවා අහවල් දේ අරගෙන එන්නම් කියලා. සිරිල් වික්‍රමගේ කියනවා මම අහවල් දේ ගෙනෙන්නම් කියලා. ඔය විදිහට එකිනෙකා බෙදා ගෙනයි ඒවා සිදු වුණේ. හැබැයි ඉඳුම් හිටුම් සහ කෑමට බීමට නම් දැවැන්ත වියදමක් කළේ නෑ. කාගේත් ලොකුම පැතුම වුණේ නිර්මාණය හොඳින් නිම කර ගැනීම. ඒ නිර්මාණ දැවැන්ත නිර්මාණ වුණා. සමහර විට නිර්මාණ ප්‍රීතියට අමතරව එය කරන්නට ගත් උත්සාහයේ ප්‍රීතියත් අපට ඉතිරි වුණා.

මේ අතීතයේ දැවැන්ත නිර්මාණ කරුවන් ක්‍රියාර ඇති ආකාරය පිළිබඳ පුංචි උදාහරණ දෙකක් පමණි. දැවැන්ත නිර්මාණ බිහි වීමේ පසුබිම් කතාවකුයි.

අද දවසේ මෙවැනි කටයුතු සිදුවන විට සම්බෝලයි බතුයි කරවල හොදියි කා ඒවා කළ යුතු යැයි මම නොකියමි. එහෙත් නිර්මාණකරණයේ උහුලා ගත නොහැකි බර නිර්මාණය උත්කර්ෂයට ගෙන ඒමට දැරූ වියදම්ම නොවන වගනම් කිව යුතුය. මේ නිසා නිර්මාණකරණයේ දැරිය නොහැකි බරක් වර්තමානයේ නිර්මාණකරුවා පිට වැටී ඇත. එබැවින් ම වැඩි මිලට පහසුවෙන් විකිණිය හැකි වෙළඳ භාන්ඩ මිස නිර්මාණ බිහිවීම අවම වී ඇති වග පෙනී යයි.

සිනමාවෙන් ගීත ක්ෂේත්‍රයට ආවත් මේ තතවය දැක ගත හැකිය. කලක් නිර්මාණයක් වෙනුවෙන් අදාල කලාකරුවන්ගේ අය කිරීම් තිබුණු සාධාරණ මට්ටම ගිලිහී ගොස් එය දැරිය නොහැකි මට්ටමක් දක්වා එසවී ඇත. සංගීත ප්‍රසංගයකදී වුව ( මෙහි මම කියන්නේ එළිමහන් ප්‍රසංග ගැන නොවේ. සුභාවිත ගීත රසිකයින් වෙනුවෙන් පැවැත්වෙන ප්‍රසංග ගැනයි.)  විවිධ ගායක ගායිකාවන් අය කරණු ලබන මුදල් ගැන හිතුව හොත් එය සංවිධායකයින්ට නොදැරිය හැකි තරම් ඉහළ තලයක පවතී. මේ හේතුව නිසා එවන් ප්‍රසංගයක ප්‍රවේශපත් සඳහා අධික මිලක් නියම කිරීමට සිදුව ඇත. මා කියන්නේ යම් ශිල්පියෙකුගේ ශිල්පීයත්වය කීර්ති නාමය වෙනුවෙන් ගෙවන මුදල අවප්‍රමාණ කළ යුතුය යන්න නොවේ. එය යම් සාධාරණ තලයක නොවුණ හොත් නිර්මාණ බිහිවීම සේම ප්‍රංසග අඩුවීමද, ඒවා කෙරුනද, මුදල් හදල් යහමින් ඇත්තවුන්ට මිස හැකියාවෙන් යුතු නිර්මාණ ශිල්පීන්ට හෝ ඇත්ත රසිකයාට ඒවා ළඟා විය නොහැකි පරතරයක් ඇති වන බවයි.

මීට අමතරව, යම් නිර්මාණ වල නිෂ්පාදන කාර්යයන්හිදී පෙර කී ලෙස සෘජුව නිර්මාණයට යොමු නොවන අනෙකුත් පහසුකම් සඳහා වන වියදම් අධික වීමද මහත් බලපෑමක් එල්ල කර ඇත. ප්‍රසංග සංවිධානයේදීද මෙය එලෙසය.



-      යසනාත් ධම්මික බණ්ඩාර   -




ඉතිහාසය සහ සාහිත්‍යය කන්නද ?



ඉතිහාසය සහ සාහිත්‍යය කන්නද ?



එක්තරා කාලයක, එක්තරා රාජ්‍ය නායකයෙක් පාසැල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය සහ සාහිත්‍යය ඉවත් කළ යුතුයැයි යෝජනා කළේය. එසේ යෝජනා කළා පමණක් නොව එම විෂයයන්, පාසැල් විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමටද කටයුතු කළේය.
ඉන් පසු කාල වල වුව, මෙවැනි යම් යම් අදහස් අපට ඇසිය දැකිය හැකි විය. අදත් අපි එවැනි සමහර උත්සාහයන් දැක ගනිමු.

ඒ කාලේ විවිධ උගතුන් වියතුන් මේ පිළිබඳව කළ විවේචන විරෝධතා දුටු එතුමා කළේ ඉතිහාසය සහ සාහිත්‍යය කන්නද කියා විමසීමය. කෑමට බීමට වැඩි තැනක් ලැබෙන සමාජ ක්‍රමයක් ඇති කළ විට ඉතිහාසයට සහ සාහිත්‍යයට ලැබෙන්නේ කෑමට බීමට වඩා අඩු තැනක් බව එතුමා ඉවෙන් මෙන් වටහා ගෙන සිටින්නට ඇත.

කෑම බීම මූලික අවශ්‍යතාවකි. එහෙත් ඉතිහාසය සහ සාහිත්‍ය හැදෑරීම සහ කෑම අතර ඇති සම්බන්ධය කුමක්දැයි එකල මට නොවැටහුණි. දැන් මට ඒ පිළිබඳව යම් වැටහීමක් ඇත.

ඉතිහාසය සහ සාහිත්‍යය ඉගෙනීම සිසුන්ට ඇවැසි නොවේ යැයි එතුමන්ට හැඟුනේ ඇයිද යන්න ඒ ගැන එතරම් නොදත් මෙන්ම ඒ ගැන අද වන විට අමතක අයගේ සිතට එන පැණයක් විය යුතුය. එයට පිලිතුරක් ඇත. එහෙත් ඒ පිලිතුර ලැබුණේ ඒවා පාසැල් විෂය නිර්දේශයෙන් ඉවත් කොට සෑහෙන කලක් ගතවත්දී ය.

පසුව මේවා නැවත අපේ විෂය ධාරාවන්ට ඒ නමින් හෝ වෙනත් නම් වලින් ඇතුළත් විය. එහෙත් ඒ වන විට ඒවා පෙර සේම හැඟෙන දැනෙන මට්ටමට යළි ස්ථාපිත කල හැකි කාලය ඉක්ම ගොස් තිබිනැයි මට සිතේ.

ඉහත කී මේ කාල වකවානුවේදීම ය ඒ හා සමාන්තරව ආර්ථිකය ඉවක් බවක් නැතිව විවෘත වන්නේ. ඕනෑ දේ සේම එපා දේ ද අවසරයක් අනවැසිව එන්නේ. නිපදවිය නොහැකි දෑ පමණක් නොව නිපදවිය හැකි දෑ ද පිටින් ගෙනෙන්නේ. කලා නිර්මාණ කිරීම පසෙක ලා, කලා නිර්මාණ යන නමින්, නිෂාපදන ද ආනයනය කරන්නට පටන් ගන්නේ.

පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන රැසක්ද සමාන්තරව බිහිවන්නේ මේ ලෙස පණින රිලවුන්ට ඉණි මං තැබීමට ය. මේ මාධ්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කළ යමෙක් වේ නම් වැටහෙන කරුණ වනුයේ, ඔවුනද, ක්‍රම ක්‍රමයෙන්, ඉතිහාසයට සහ සාහිත්‍යයට මේ සමාජය තුළ හිමිව තිබූ තැන සියුම්ව ඉවත් කිරීට ඇවැසි දෑ කිරීමයි. අපේ දේශයට අනන්‍ය සංස්කෘතිය තුළ පරගැති සංස්කෘතිය සියුම්ව ආරෝපනය කිරීමයි. ඒ ආරෝපනය වැලඳ නොගන්නා අයව උපහාසයට අපහාසයට ලක් කිරීමයි. දියුණු සමාජයට විවර වීමට පසුබට ගෝත්‍රික අවැතුම් පැවැතුම් හිස මත පටවා ගත් මිනිසුන් කොටසක් සේ හංවඩු ගසන්නට උත්සාහ කිරීමයි. 

මේ ක්‍රියාදාමය කලක් පැවැතීමෙන් අනතුරුව ලක් වැසිව සිටි සංස්කෘතික මිනිසා ලක් වැසි අසංස්කෘතික මිනිසෙක් බවට පත් විය.

දැන් ඔවුනට ඉතිහාසයක් නැත. ඒ නිසාම දිගු ඉතිහාසයක් තුළ වූ ප්‍රෞඩත්වය පිළිබඳව  ආඩම්බරයක් නැත. දැන් ඔවුනට සාහිත්‍යය පිළිබඳ දැනුමක් නැත. ගැඹුරු හැදෑරිම් නැත. ගවේශණයක් නැත. පොහොසත් සංස්කෘතියකින් කෙරෙන හික්මවීමක් නැත. නිර්මාණයකින් ලබන ගැඹුරු රසයක් නැත. 

සියල්ල මතු පිටය.

සියල්ල මතුපිට ය යන කීමට මොන මොන තරම් දේ උදාහරණ ලෙසට ගත හැකිද?

ගීතයක් අහන්න. අද වන විට ගීතයේ අරුතට ලැබෙන තැනක් නැත. මියුරු සංගීතයට ලැබෙන තැනක් නැත. එහි භාවාත්මක තනුවට ලැබෙන තැනක් නැත. ඉල්ලන්නේම කර්ණ කඨොර, හිසට නොයන, සිතට නොදැනෙන, ගාත් වලට දැනෙන රිදමයයි. මිහිරි මියුරු නොවන ටකරං වාදන භාණ්ඩ වල හඬයි. 

ටෙලි නාට්‍යයක් ගන්න. එහි ගැඹුරු සංවාදයක් නැත. ඇත්තේම මිනිසුන්ගේ එදිනෙදා පවුල් ගැටුම් මතු පිටින් දැක, ඒවා එකිනෙකක් වට්ටෝරු ක්‍රමයට ඔබ්බවා සැකසූ රඟපෑම් නොවන රඟපෑම්ය. නාට්‍යය නොවන නාට්‍යයය.

සිතුවම් පට ගන්න. ගැඹුරු නිර්මාණ කළ වුන් පවා කරණ බොහෝ නිර්මාණ වල ගැඹුර ගිලිහී ගොස් ඇත. ඔවුන් හට සිය නිර්මාණ වලට නිමිති අපමණ ඇතත්, ඒවා සියුම්ව උකහාගෙන නිර්මාණය කිරීමේ දුප්පත් කමකින් වෙලී සිටී. රැල්ලට හසු වූ අසංස්කෘතික මිනිසා මතු නොව, එසේ හසු නොවූවා යැයි සිතූ මිනිසුන් පවා නොදැනීම,  නොපෙනීම ඊට හසුව ඇත.

කෑමක් ගන්න. අපේ අතීතයේ, ගුණෙන්, රසින්, සුවඳින් පිරුණු කෑම මුළුතැන් ගෙයින් පළා ගොස් ඇත. වීථියේ, ජංගම කෑම කඩයෙන් ගෙන තළු මරන්නේ මුඩු තෙලින් බැදි, ලුණු රසය පමණක් ඇති, සෞඛ්‍යයට හානිකර රස කාරක වර්ණක ආදිය යෙදූ කෙටි කෑමය. ඒවාගේ අර අපට හුරු කෑමෙහි වූ ගැඹුරු රසක් නැත. හානියක් මිස ලැබෙන ගුණයක් නැත. නමුත්, නිසි පදනමක් නැති වර්තමාන අළුත් පරපුර තුළ පොෂ් දිවියට අවැසි මතුපිට සාටෝපය පමණක් එහි ඇත.

අවසන සෑදී ඇත්තේ කුමන වූ සමාජයක්ද? එය තවත් දුරට කතා කළ යුතුය. එහෙත්, අද ඊට අවකාශ නැත. එබැවින් ඒ කතා ඉදිරියට ය. 

නමුත් මේ අවරට ගෙන ගිය සමාජ පරිවර්තනය කුමක් සඳහා දැයි සිතිය යුතුය.

මට හැඟෙන අයුරින් නම්, පාලකයින්ට බොරුව පහසුවෙන් විකුණා බලය ගැනීමටත් පාලනය ගෙන යාමටත්ය.

වෙළඳ ප්‍රජාවට, නොවටිණා භාණ්ඩ, සහ ඊනියා නිර්මාණ එම භාණ්ඩ එහ එවන් නිර්මාණ සත්‍ය වශයෙන්ම අවශ්‍ය නැති පාරිභෝගිකයින්ට පහසුවෙන් විකිණීමටය.




-      යසනාත් ධම්මික බණ්ඩාර   -