එන්න...එන්න...සුදු වෙන්න.....
ලංකාවේ සිටින්නේ සුද්දන් නොවේ. ලංකාවේ සිටින්නේ කල්ලන්ද
නොවේ. ලංකාවේ අපි බොහෝමයක් තළ එළළුය.
තල එළළු අය අතුරින් සමරෙකුගේ පැහැය තරමක් කළු පැහැයට බර
වන අතර සමහරෙකුගේ පැහැය සුදු පැහැයට බර වෙයි. මේ පරාසය තුළය ලංකාවේ තළ එළළු අපි,
සුදු සහ කළු ලෙස බෙදා ගන්නේ.
සුදු ලස්සනද? සුදු හැමකෙකුම ලස්සනද? කළු කැතද? කැත හැමෝම
කළුද?
බොහෝ අය සුදු වෙන්නට සිතයි. සුදුවෙන්නට සිතන බොහෝ අය
කාන්තාවන් වෙයි. පිරිමින් සමහරෙකුද සුදු වෙන්නට නොසිතනවා නොවේ. ඒ අයගෙන් බොහෝමයක්
කාන්තාවන් සේ සිතනවා විය හැකිය. කාන්තාවන් ගේ සිතුවිලි පිරිමින්ගේ සිතුවිලි වලට
වඩා පහළද වැනි පැණයක් යොමු කරමින් අනවශ්‍ය ගැටළුවක් මා සමඟ ඇති කර නොගනු ඇතැයි
සිතමි. මා කියන්නේ උසස් පහත් භේදයක් ගැන නොවේ. සිතුවිලි වල විවිධත්වය ගැනයි.
කාන්තාවන් සහ පිරිමින් සමහර දේ ගැන සිතන විදිහ එක විය හැකිය. එහෙත් බොහෝ දේ ගැන
ඔවුන්ගේ සිතුවිලි බොහෝ වෙනස් ය. මේ රුව ගැන වුවද එසේය.
කාන්තාවන් බහුතරය රූමත් වීමට කැමැතිය. හැඩ රුව ගැන හිතන පිරිමින්ගෙන් බහුතරය කැමැති කඩවසම් වීමටය. එහෙත්, අර
කාන්තාවන් සේ, සමහර පිරිමින් රූමත් වෙන්නට උත්සාහ කරණු පෙනෙයි.
මා කියුවේ ඒ ගැනය.
සුදු වෙන්නට හිතන බොහෝ අය එසේ සුදු වෙන්නට හිතන්නේ සුදු
වුණාම ලස්සනය කියා හිතාය. එය වෙනම කතා කළ යුතුය. දැන් කතා කරන්නේ සුදු වී ලස්සන
වෙන්නට කැමැත්තෙන් සිටින අයගේ ඒ කැමැත්ත විකුණන හැටි ගැනය.
අපගේ සමෙහි වර්ණය තීරණය වනුයේ අප අයත් ජාතිකත්වයන්ට අනුව
අප සෛල තුළ අඩංගු වන ජාන සංයුතිය අනුවය. එය කලාපීයවද වෙනස් වේ. අපට ලැබෙන්නේ කුමන
වර්ණයක් වුවද ස්වභාවිකත්වය අතින් විමසූ විට ස්වභාවික දේ එයය. ඒ ස්වභාවිකත්වයට
බලපෑම් කර නතු කර ගනු ලබන කුමන වර්ණයක් වුව, කෘත්‍රිම ය. අස්වාභාවික ය.
තද වර්ණයක් හිමි අපේ අයට ලා වර්ණයක් හිමි කරගන්නට නම්,
තද වර්ණයක් ලැබීමට හේතුවන ස්වභාවික වර්ණක සංයුතිය යම් අයුරකින් වෙනස් කළ යුතු වෙයි.
ඒ සඳහා බහුලව භාවිතා කරණුයේ ෆෙයාර්නස් ක්‍රීම්, වයිට්නින් ක්‍රීම් ආදිය ය.
ෆෙයාර්නස් ක්‍රීම්, වයිට්නින් ක්‍රීම් ආදිය විකිණෙන්නේ
ටොන් ගණනිනි. එය දන්නෝ හොඳින් දනී. නොදන්නෝ සිටී නම් අවධානය යොමු කරණු මැනවි.
මේ ෆෙයාර්නස් ක්‍රීම්, වයිට්නින් ක්‍රීම් ආදී නිෂ්පාදන වලින් සමහරක් අනුමත
ඒවාය. සමහරක් අනුමැතිය නැති ඒවාය. අනුමැතිය නැති ඒවා හොඳද නරකද යන්න නොසොයා බැහැර
කළ යුත්තේ අනුමත නැති නිසාය. අනුමැතිය යනු ප්‍රමිතිය ගැන යම් ඡායාමාත්රයක් හෝ
ගැබ් වුණු දෙයකැයි සිතා ය. අනුමත හැම දෙයක්ම හොඳ ඒවාද යන්නද සිතා බැලිය යුතුය.
යම් තද චර්ම වර්ණයක් ඇති අයෙකුට ආරක්ෂිත තත්ව යටතේ ළඟා
කර ගත හැකි වන්නේ සියයට විස්සක ( 20 % ) වෙනසක් පමණක් බව චර්ම රෝග විශේෂඥ මතයයි.
ඉන් ඔබ්බට යන්නට සිතන සෑම අවස්ථාවකම සිදු වන්නේ හානියක් බව කිව යුතුමය. අපේ කට්ටිය
මේ 20% ක වෙනසින් සෑහේද? ගැටළුව වන්නේ එයයි.
අනෙක් කරුණ නම්, එම සියයට විස්සේ වෙනස ඇති කරගැනීමට
භාවිතා කරන්නේ මොනවාද යන්නය. ඒ සඳහාය කට්ටය තොග වශයෙන්, මම අර පෙර කියූ අනුමත සහ අනුමත
නැති ෆෙයාර්නස් ක්‍රීම්, වයිට්නින් ක්‍රීම් ආදිය භාවිතා කරනුයේ.
තතු දන්නා අයගේ මතය නම්, ඉහළ ප්‍රමිතියේ එවැනි ආලේපන
අධික මිලක් වන බවයි. ඒවා ගැනෙනුයේ අධි සුඛෝපභෝගී භාණ්ඩ ගණයටය. එවැනි මිලක් අපේ
බහුතර පාරිභෝගිකයිනට දැරිය නොහැකි බවය ඔවුනගේ අදහස වනුයේ. ඒ අනුව ඔවුනට භාවිතා කළ
හැක්කේ ප්‍රමිතියෙන් පහළ, එහෙත් වෙළඳ ප්රචාරක මාධ්‍යයන් ඔස්සේ ඉහළ ප්‍රමිතියක්
සහිත, ආරක්ෂාදායී නිෂ්පාදන ලෙසින් හඳුන්වමින් අප අත පත්කරණ ඒවාය.
මෙවැනි අඩු ප්‍රමිතියේ නිෂ්පාදන වල බොහෝ විට ඇත්තේ
විරංජක ( Bleaching ) කාරක
රසායන ද්‍රව්‍යයන්ය. එම රසායන ද්‍රව්‍යයන් නිසා සමට දරුණු හානියක් සිදුවන බව
සොයාගෙන ඇත. ඒ අනුව,
සම තුනීවීම,
අස්වාභාවික සුදු පැහැයක් ඇති වීම ( දුර්වර්ණ
වීම ),
සමේ කේෂ නාලිකා මතුවීම, අධික ලෙස කුරුළෑ මතුවීම,
හිරු රැස් දරාගැනීමට
නොහැකි වීම,
පසු කලෙක සමේ කළු ලප ඇතිවීම,
මුහුනෙහි රෝම අධි වර්ධනය සිදුවිම,
අසාත්මිකතා, සහ
පිලිකා පවා ඇති විය හැකිවීම මෙහිදී සිදුවිය හැකිය.
මේ අනුව කෙටි
කාලීනව සුළු අස්වැසුමක් වෙනුවෙන් දිගු කාලීන අපහසුතා ඇති කරගැනීමට සිදුවන අතර සමහර
විට ඒවා මරණීය ද විය හැකි බව වැටහෙනු ඇත.
මේ සුදු වීමේ නැති නම් සුදු වී ලස්සන වීමේ අවශ්‍යතාව හදිසියේ
මතුවූවාද යන්නත් සැලකිල්ලට ගත යුතුය. ඇත්තෙන්ම නම්, රූපලාවන්යයටඈත අතීතයේ සිටම,
විශේෂයෙන් කාන්තාවන් උනන්දු වූ බවට සාධක ඇවැසි තරමටත් වැඩිය. එහෙත් වැදගත්ම කරුණ
නම්, ඒ යුගයේ මේ සඳහා යොදා ගනු ලැබුවේ ප්‍රධාන වශයෙන් ස්වභාවික ශාක සාරයන් වීමයි.
නමුත් වර්තමානය වන විට තත්වය වෙනස් වී ඒවා කෘත්‍රිම රසායනයන් බවට පත්ව ඇත. ඊ ළඟ දේ
නම්, එකල ප්‍රතිඵල බලාපොරොත්තු වූයේ ක්‍රම ක්‍රමයෙනි. බොහෝ විට තිබෙනවාට වඩා යම්
පැහැපත් බවක් පැතුවා මිස, ලබා ගත නොහැකි මට්ටමේ පැහැයක් කෙසේ හෝ ලබා ගැනුමට උත්සාහ
නොකළේය. අද අවශ්‍යතාව ක්ෂනික එකකි. සතියෙන් සුදු කරණවා යැයි කියන ආලේපනද වෙළඳ ප්‍රචාරයන්ගෙන්
අපට දැක ගත හැකිය. මේ වෙළඳ ප්‍රචාරයන් හේතුවෙන්, ඉතා ලා බාල වයසේ සිටම මෙවැනි
ආලේපන වලට ඇබ්බැහි වූ පරපුරකි අද අපට සිටින්නේ. මෙහි කෙළවර කුමක්ද? එය වටහා ගත්තෝ
කවුරුන්ද? එය වලක්වන්නෝ කවුරුන්ද? ඔවුන් පෙනෙන මානයකවත් නැත.
ඉතින්, මේ වග දැන දැන,
එන්න....එන්න..... සුදු වෙන්න.....
- යසනාත් ධම්මික බණ්ඩාර -









